වීඩියෝ ක්‍රීඩා ලෝකයේ පෙරැළිකාර ඉදිරි පියවර

"ක්ලවුඩ් ගේමින්" ලෙස හඳුන්වන පරිගණක ක්‍රීඩා ක්‍රමවේදය, පරිගණක ක්‍රීඩා සහ අනෙකුත් උපාංග වල භාවිතයට ගන්නා මෘදුකංග ක්‍රීඩා සියල්ලගේම, පෙරැළිකාර ඉදිරි පියවරක්.

එමඟින් සිදුකරන්නේ, "රිමෝට් සර්වර්ස්" ලෙස හඳුන්වනු ලබන තොරතුරු සර්වර වල විඩියෝ ක්‍රීඩා පෙර සැකැසුම් කර, අන්තර්ජාලය ඔස්සේ ඒවා ක්‍රීඩා කරන අය සතු උපාංග වෙත යැවීමෙනි.

ඔබේ පරිගණකය බලවත් නම්, ක්‍රීඩා අත්දැකීමත් විශිෂ්ටයි

ඩිජිටල් ක්‍රීඩා අන්තර්ජාලය සමඟ ව්‍යාප්ත වීමට පෙර, සී.ඩී, ඩී.වී.ඩී, ආදිය විශාල ප්‍රමාණයක් යොදාගෙන, එම ක්‍රීඩාවන් පරිගණක යන්ත්‍ර, ප්ලේ ස්ටේෂන් යන්ත්‍ර ආදියෙහි ක්‍රීඩා කළ ආකාරයත්, කුඩා ප්‍රමාණයේ "හෑන්ඩ් හෙල්ඩ්" හෝ " කන්සෝල්" යොදාගෙන විඩියෝ ක්‍රීඩාවන්හි නිරත වුනු ආකාරයත්, ජංගම දුරකථන අතරට ස්මාට් දුරකථන එක්වීමට පෙර යුගයේ, දුරකථනය සමඟ එන සරල විඩියෝ ක්‍රීඩා කළ ආකාරයත් ඔබට මතක ඇති.

එම යුගයේදී ඔබ කරන ක්‍රීඩාවෙන් ලැබෙන අත්දැකීම රඳාපැවතුනේ, ඔබ භාවිතයට ගන්නා පරිඝණකයේ හෝ ඩිජිටල් උපාංගයේ දෘඪාංග සැකැස්ම මතය. ග්‍රැෆික්ස් ඇක්සිලරේෂන් කාඩ් වල හැකියාව, රැම් කාඩ්පත්, දෘඩ ඩිස්කයේ ඉඩකඩ ( Hard Disk Space), ඔබේ උපාංගය මෙහෙයවන ප්‍රෝසෙසරයේ ක්‍රියාකාරීත්වය යනාදි බොහොමයක් කරුණු ඔබට යම් ක්‍රීඩාවක් කළ හැකිද, නැද්ද යන්න තීරණය කළා.

ක්ලවුඩ් ගේමින් ආගමනය සියල්ල වෙනස් කරනු ලැබුවා

නමුත් ක්ලවුඩ් ගේමින් ක්‍රමවේදය පැමිණීමෙන් ඒ සියල්ල වෙනස් උනා. තව දුරටත් ඔබ භාවිතා කරන උපාංගයේ හැකියාවන් මතම සියල්ල රඳා පවතින්නේ නැහැ. ඒ වෙනුවට ඔබේ අන්තර්ජාල සබඳතාවේ වේගය සහ ඔබ විසින් මිළට ගෙන ඇති දත්ත පැකේජ අනුවත් බොහෝ දේ තීරණය වෙනවා



මෙහිදී ක්‍රීඩාව තැන්පත් කර තිබෙන යන්ත්‍රය හෝ යන්ත්‍ර තිබෙන්නේ වෙනත් දිශාවකය. එබඳු යන්ත්‍රයක් අදාළ ක්‍රීඩාව ගෙන, එහි රූප රාමුවෙන් රාමුවට පිරිසැකසුම් කර, අවසානයේ කුඩා දත්ත ප්‍රමාණයක විඩියෝ ලෙස "සිප් " කර සකසා, එය ඉල්ලා සිටින උපාංගය වෙත යවනු ලැබේ. මෙහිදී ඔබට සම්පූර්ණ ක්‍රීඩාවම ඔබගේ උපාංගයට බාගත කරගන්නට සිදු නොවන නිසා බොහෝ තත්වයන් යටතේ වුවද ක්ෂණිකව ක්‍රීඩාවට පිවිසෙන්නට හැක.

ප්‍රහේළිකාවක කොටස් පුරවන්නා සේ, විවිධ සර්වර් වල විවිධ අන්දමින් කොටස් කෙරුණු ක්‍රීඩාව, සමගාමී සම්ප්‍රේෂණයක් ( ස්ට්‍රීමින් ) ඔස්සේ ක්‍රීඩාවේ නියැලෙන්නන්ගේ උපාංග වෙතට යැවීම මෙම ක්‍රමවේදයයි.

එහිදී එකලස් වන ක්‍රීඩාව ඔවුන්ගේ උපාංග තිරයන් මත දිගහැරෙනු ඇති අතර, ඔවුන්ගේ උපාංග වල තිබිය යුත්තේ ද්වි පාර්ශ්වික අන්තර්ක්‍රියා කිරීමේ හැකියාවක් පමණි. ක්‍රීඩාව මෙහෙයැවෙන්නේ එසේය.

ලයිව් ස්ට්‍රීමින්

මේ සජීවී සම්ප්‍රේෂණය හෙවත් ලයිව් ස්ට්‍රීම් කිරීම නිසා, ස්වාධීනවත්, සමාන්තරවත් තම නිවසේ ඇති අන්තර්ජාලයට සම්බන්ධ කළ හැකි ඕනෑම උපාංගයකට මෙම ක්‍රීඩාව ගෙන්වා ගැනීම, ඒ "ඇප්" භාවිතා කරන අයට හැකියාව ලැබෙනවා. නමුත් බොත්තම් එබීමෙන්, මවුස් එක ඒ මේ අත ගෙන යාමෙන් හෝ යතුරු පුවරුව එබීමෙන් අදාළ පරිගණක ක්‍රීඩා වැඩසටහන ආරම්භ කර පවත්වාගෙන යෑමේ හැකියාව තිබෙන උපාංගයකින් පමණයි ක්‍රීඩා කළ හැක්කෙ.

අදාළ උපාංග වලට එන පරිගණක ක්‍රීඩාව ඔබට භාවිතා කිරීමේ හැකියාව ලැබෙන්නේ "වර්චුවල් මැෂීන් එකක් " ලෙස කටයුතු කරමින් ඔබේ උපාංගයේ අතුරු මුහුණත ( ඉන්ටර්ෆේස් - Interface ) සහ අදාළ ක්‍රීඩාව ගබඩා කර ඇති Servers සම්බන්ධ කරන ඇප්ලිකේෂන් එක.

ක්ලවුඩ් ගේමින් වල තාක්ෂණය මුල් වරට විග්‍රහ කරනු ලැබුවේ, 2000 වසරේ "ඊ3 එක්ස්පෝ " වැඩසටහනකදී " ජී - ක්ලස්ටර් " නම් සමාගම විසින්.

මේ මොහොත වනවිට ලෝකයේ ක්ලවුඩ් ගේමින් වෙළඳපළේ ඉදිරියෙන්ම සිටින සමාගම් වන්නේ සෝනි, ගූග්ල්, මයික්‍රොසොෆ්ට්, එන්වීඩියා, ජී සොෆ්ට්, වැනි සමාගම්.

5 ජී තාක්ෂණය පැමිණීමත් සමඟම මේ ක්ලවුඩ් ගේමින් ක්ෂේත්‍රය අතථ්‍ය යථාර්තය සහ විශ්ලේෂිත යථාර්තය ක්ෂේත්‍රයන් සමඟ බද්ධ වී විශාල වෙනසක් සිදු කිරීමට සූදානම් වෙනවා.

එන්වීඩියා, ඉන්ටෙල්, ඇමසොන්, සෝනි, අයිබීඑම්, ටෙන්සන්ට් වැනි සමාගම් මේ ක්ෂේත්‍රය එවැනි ඉසව්වකට ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කරන දෘඪාංග පිළිබඳව ගවේෂණ සිදු කරමින්, ඒවා වඩාත් දියුණු කරමින් සිටිනවා.

Post a Comment