Wi-Fi වලින් පසු Li-Fi

 


"Wi-Fi", අද වනවිට පාසැල් යන කුඩා දරුවන් පවා හොදින් හදුනන රැහැන් රහිත සන්නිවේදනය තාක්ෂණයයි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ කාර්යාල හා සේවා ස්ථාන වගේම සාමාන්‍ය නිවෙස් වලත් Wi-Fi තාක්ෂණය බහුලව භාවිතා කරනවා. Wi-Fi තාක්ෂණ සම්බන්ධතා ලබාදෙන ආයතන විශාල ප්‍රමාණයක් ලංකාවේ පවතින අතර Sri Lanka Telecom ආයතනය ඒ අතරින් ඉදිරියෙන්ම සිටින සමාගමක්. Wi-Fi තාක්ෂණය ඉතා ඉක්මනින් ලොවපුරා ජනප්‍රිය වූ අතර 2021 වසර වනවිට එය භාවිතා කරන්නන් ලොවපුරා බිලියන 4.66ක් පමණ සිටින බවයි වර්තා වන්නේ. මෙම තාක්ෂණය කෙතරම් පහසු හා වේගවත් වූවත් තාක්ෂණය යනු කාලෙන් කාලයට නව්‍යකරණයට ලක් වන දෙයක්. මේ අනුව 2011 වර්ෂයට පෙර සිට විවිධ තාක්ෂණික ආයතන හා විශ්ව විද්‍යාල Wi-Fi පරදා ඊටත් වඩා වේගවත් සේවාවක් ලබාදිය හැකි තාක්ෂණයක් සෙවීමට පටන් ගත්තා. "Li-Fi" නම් යෙදුම කරලියට පැමිණෙන්නේ මේ අනුවයි.

 

# මොකක්ද මේ "Li-Fi"?

 

2011 වර්ෂයේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් සරසවියේ මහාචාර්ය වරයෙක් වන හැරල්ඩ් හාස් (Harold Haas) තම ශිෂ්‍යයන් කණ්ඩායමක් සමග Wi-Fi වලට වඩා වේගවත් Li-Fi නම් තාක්ෂණය පිලිබදව මුල් වරට අදහස් දක්වනු ලැබුවා. හාස් මහාචාර්යවරයා මෙම අදහස් දක්වනු ලැබුවේ Ted Talk නම් සම්මන්ත්‍රණයකදී. ඔහු හා ඔහුගේ කණ්ඩායම සිදුකරන ලද පරීක්ෂණ වලදී ඔවුන් සොයාගත් කරුණු අනුව මෙම නව තාක්ෂණය ඔස්සේ තත්පරයට ගිගා බයිට් 1ක වේගයෙන් දත්ත download කිරීමේ හැකියාව පවතිනව. Li-Fi තාක්ෂණය පිලිබදව මූලික හැදෑරීම් වලට අනුව Li-Fi හරහා තත්පරයට ගිගා බයිට් 224ක (224 Gbps) අන්තර්ජාල වේගයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සරලව කිවහොත් Li-Fi තාක්ෂණය Wi-Fi වලට වඩා සිය ගුණයක් වේගවත්. හැරල්ඩ් මහාචාර්ය තුමා ඇතුලු කණ්ඩායම සිදුකල පරීක්ෂණ වලදී ඔවුන්ට ගිගා බයිට් 1.5 (1.5Gb) බැගින් වුනු සිනමාපට 18ක් තත්පරයක් තුල download කිරීමේ හැකියාවක් පැවතිලා තිබෙනව.

 

# Li-Fi වැඩ කරන්නෙ කොහොමද

 

Wi-Fi ලෙස කෙටියෙන් හඳුන්වන්නේ Wireless Fidelity කියන නාමයයි. රැහැන් රහිත රේඩියෝ තරංග ආදාරයෙන් සංනිවේදන පහසුකම් සැපයීම Wi-Fi වල මූලික ලක්ෂණය බව සරලව අර්ථකථනය කළ හැකි. Li-Fi යනුවෙන් හදුන්වන්නේ Light Fidelity කියන එක. එනම් මෙහිදී යොදාගනු  ලබන්නේ රේඩියෝ තරංග වෙනුවට දෘශ්‍ය අලෝකයයි. ඉතා සරලව මෙහි හැසිරීම පැහැදිලි කරනවා නම් Li-Fi ක්‍රියාත්මක වන්නේ LED බල්බ ආදාරයෙන්.

 


ආලෝකය ලෙස අපට දිස්වන්නේ යම් අලෝක ප්‍රභවයක් මගින් නිකුත් කරන ෆෝටෝනයි. දැල්වෙන විදුලි බුබුලකින් මෙන්ම LED බල්බයකින් ෆෝටෝන ලෙස ශක්තිය රැගෙන යාම සිදුකරනු ලබනවා. ඒ වගෙම එලෙස රැගෙන යන ශක්තිය, ආලෝක ධාරාවේ සිදුවන වෙනස් වීම් නැත්නම් විචල්‍යයන් වලට සාපේක්ෂයි . මෙම ආලෝක ශක්තියේ සිදුවන වෙනස් වීම, ෆෝටෝන වලට ශක්තිය රැගෙන යාමට ඇති හැකියාව වැනි කරුණු මත පදනම් වෙලා තමයි Li-Fi තාක්ෂණය ක්‍රියාත්මක වෙන්නේ.

 

හැරල්ඩ් හාස් තම පර්යේෂණ වලදී LED බල්බ සහිතව සකසන ලද Li-Fi පද්ධතියකට සංඥා සැකසුම් තාක්ෂණය ඔස්සේ දත්ත ලබාදීම සිදුකරනු ලැබුවා. ආලෝක ධාරාවක් මගින් මෙලෙස ගෙන යනු ලබන දත්ත රිසීව්රයක් මගින්, නැත්නම් ෆෝටෝ ඩයෝඩ මගින් ග්‍රහණය කරගනු ලබනවා. ෆෝටෝ ඩයෝඩ මෙම දත්ත නැවතත් ඉලෙක්ට්‍රොනික සංඥා බවට පරිවර්තනය කරන අතර පරිඝනක, ස්මාර්ට් ජංගම දුරකථන ආදී සන්නිවේදන උපකරණ වලට මෙම සංඥා නැවතත් දත්ත බවට පරිවර්තනය කිරීමේ හැකියාව පවතිනවා. Li-Fi පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ මේ ආකාරයටයි. හැරල්ඩ් හාස් විසින් සිදුකල පරීක්ෂණ වලදී මෙය ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස තහවුරු වී තිබුණා.

 

# Li-Fi සාර්ථකද පියවරක් වේවිද?

 

Li-Fi යොදාගැනීම තාක්ෂණයේ සාර්ථක පියවරක් විය හැකි බව සදහන් කරන්න පුලුවන්. දැනටමත් සමාගම් කිහිපයක් මෙම තාක්ෂණය භාවිතා කරනව. හැරල්ඩ් හාස් මහාචාර්ය වරයා නියෝජනය කරන සමාගමක් වන Pure Li-Fi සමාගම සදහන් කරන ආකාරයට මෙම තාක්ෂණය අනාගතයේදී සාමාන්‍ය නිවාස වල අන්තර්ජාල පහසුකම් ලබාදීම සදහා උනත් භාවිතා කරන්න පුලුවන්. නමුත් ප්‍රධානම ගැටලුවක් වන්නේ මේ සදහා දැනට Wi-Fi සදහා වැයවන මුදලට වඩා වැඩි මුදලක් වැය වන එක. ඒ වගෙම ආලෝකය නොමැති නම් Li-Fi භාවිතා කල නොහැකි. මේ නිසා බල්බ සෑම විටම දල්වා තැබීමට අවශ්‍ය වනවා. මේ නිසා විදුලි බිල යම් මට්ටමකට ඉහල යාමක් සිදුවිය හැකී. නමුත් හැරල්ඩ් මහාචාර්ය වරයාගේ සමාගම පවසන්නේ මේ සදහා ඉතාමත් අඩු ආලෝක ධාරා පවා යොදාගත හැකි බවයි. විශේෂයෙන් රාත්‍රියේ නිදාගෙන ඉන්න විට Li-Fi භාවිතා කිරීමට අවශ්‍ය නම් විදුලි බුබුළ දල්වා තැබීමට අවශ්‍ය වනවා. මේ සදහා විසදුමක් ලෙස ඔවුන් පවසන්නේ ඉතා කුඩා ආලෝක ධාරාවකින්, නැත්නම් Dimmed light එකක් යොදාගත හැකි බවයි. Lux 60ක තරම් අඩු ආලෝක මට්ටමකදී පවා Li-Fi ක්‍රියාත්මක කල හැකි බව ඔවුන් සොයාගෙන තිබෙනවා.

 

නමුත් මෙතරම් වේගවත් දත්ත සැපයුමක් ගෘහස්ත පරිහරණය සදහා අවශ්‍ය වේවිද? යන පැණය  මෙම පහසුකම් සැපයීමට මග බලාගෙන සිටින සමාගම් සතුව මුල් කාලයේ පැවති පැණයක්. නමුත් අදවන විට Covid-19 ව්‍යසන තත්වය සමග Work From Home සංකල්පය ලොවපුරා රටවල් විසින් යොදාගනු ලබන නිසා, මෙවැනි වේගවත් අන්තර්ජාල සැපයුමක් පැවතීම වර්ථමානයේදීද, අනාගතයේදීද ඉතාම ඵලදායී විය හැකි බව සනාථ වෙනවා. . මේ නිසා Li-Fi අනාගතයේ සාර්ථක පියවරක් වනු ඇති බව නොඅනුමානයි.

 

# Li-Fi අනාගතය පහසු කරාවි

 

තාක්ෂණික දියුණුවක් සමග ලොව සෑම කර්මාන්තයක්ම පාහේ අන්තර්ජාල පහසුකම් භාවිතා කරනවා. විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍ර‍යේ කටයුතු සදහා Wi-Fi යොදාගැනීමේදී හෝ අධි සංවේදී උපකරණ භාවිතා කරන පරිසරයන්හිදී, Wi-Fi භාවිතා කිරීමේදී ගැටලුකාරී තත්වයන් පැන නගිනවා. මන්ද විද්‍යුත් චුම්බක තරංග මගින් උපකරණ වල ක්‍රියාකාරීත්වයට බාධා සිදුවිය හැකි බැවින්. නමුත් Li-Fi යොදාගන්නේ ආලෝක තරංග නිසා එවැනි ගැටලුකාරී තත්ත්වයක් පැන නගින්නේ නැහැ. එලෙසම Li-Fi ක්‍රියාත්මක කිරීම සදහා වෙනමම LED බල්බ නිෂ්පාදනය අවශ්‍ය වන්නේ නැහැ. දැනට එදිනෙදා නිවෙස් වල භාවිතා කරන LED බල්බ ඒ සදහා ඉතාමත් පහසුවෙන් යොදාගත හැකී.

 

එලෙසම අන්තර්ජාලය සමග නිරන්තරයෙන් කටයුතු කරන සමාගම් හා ව්‍යාපාර වලට මෙම තාක්ෂණය ඉතාමත් යෝග්‍ය වනු ඇති. ගෘහස්ථ පරිබෝජනය සදහා මෙම තාක්ෂණය වැඩි දියුණු කල හොත් වේගයට සරිලන ලෙස අඩු වියදමිකින් මෙය පාරිභෝගිකයාට ලබාදීමට හැකියාවක් පවතිනවා.

 

# Li-Fi වාසි හා අවාසි සාරංශය

 

Li-Fi තාක්ෂණය අපිට ළඟාවීමට  තව ටික කාළයක් ගත වේවි. Li-Fi අත්හදා බලන සමාගම් 2021 වර්ෂයේ අවසානය වන විට මෙම තාක්ෂණික ඥානය අනෙකුත් රටවල් වලට බෙදා දීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා. ආලෝකය  මගින් දත්ත හුවමාරු වන මෙම ක්‍රමය ඉතාමත් සුරක්ෂිත ක්‍රමයක් බවටයි, දැනට පවතින මතය. විශේෂයෙන් යම් කාමරයක් තුල සිට Li-Fi ජාලයට සම්බන්ධ වන පුද්ගලයෙකුට වෙනත් ස්ථානය හෝ වෙනත් කාමරයක සිටින පුද්ගලයන්ගෙන බාධා එල්ල වන්නේ නැහැ. මොකද එම කාමරය තුල පවතින Li-Fi ජාලය පහසුකම් සපයන්නේ ඔහුට පමණක් බැවින්. මේ නිසා ඔහුගේ අන්තර්ජාල සැපයුමට වෙනත් අයෙකුට ඇතුල් වීමට අවකාශ ලැබෙන්නේ නැහැ. එලෙසම බල්බයක් දැල්වෙන ඕනෑම  තැනක් හරහා අන්තර්ජාලයට පිවිසිය හැකි ආකාරයට මෙය දියුණු කිරීමේ හැකියාව පවතිනවා.

 

Li-Fi තාක්ෂණික වශයෙන් අත්හදා බලන සමාගම් වල වාර්තා වලට අනුව බල්බයක් දැල්වෙන ඕනෑම ස්ථානයක මෙය භාවිතා කළ හැකි සේම බල්බයක් නොමැති ස්ථානයක මෙම තාක්ෂණය භාවිතා කල නොහැකී. එලෙසම ආලෝකය බිත්ති හරහා නොයන නිසා භෞතික බාධාවන්ට Li-Fi ජාලය ලක්වීම සිදුවනවා. ඒවගෙම එළිමහනේ  මෙය යොදාගැනීමේදී විශේෂිත ක්‍රමවේදයක් යොදා ගත යුතුයි. නැත්නම් සූර්යාලෝකය මඟින් Li-Fi ජාලයට බාධා ඇති වීමට පුළුවන්. එලෙසම මෙම පහසුකම් සපයන සමාගම් සදහා මෙම ජාලයන් ඇති කිරීමට මුල් කාලයේ විශාල වියදමක් දැරීමට සිදුවනු නොඅනුමානයි. ඒ නිසා ආරම්භක අධියර වලදී Li-Fi තරමක් මිලෙන් අධික වනු ඇත. නමුත් වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාගන්න කවුද අකමැති. වඩා වැදගත් වන්නේ මෙම තාක්ෂණයද Wi-Fi මෙන් සාමාන්‍ය ජනතාවට දරාගත හැකි මිලකට ලබාදීමට හැකිවන ලෙස දියුණු කිරීමයි.

 

Post a Comment