රැහැන් රහිත ජංගම දුරකථන සන්නිවේදන ක්‍රමවේදය, මානව ශිෂ්ඨාචාරයේ සන්නිවේදන පරිචයට පිවිසුණු නවතම සන්නිවේදන ක්ෂේත්‍රය ලෙස හැඳින්විය හැකියි.

1940 දශකයේ මෝටරෝලා සහ බෙල් සිස්ටම්ස් සමාගම් දෙක විසින්, "ප්‍රි-සෙලියුලර් " මොබයිල් රෙඩියෝ ටෙලිෆෝන්" යන නමින් හඳුන්වනු ලබන උපාංගය සහ ඒ සන්නිවේදන ක්‍රමවේදය හඳුන්වා දුන්නා. එය හැඳින්වෙන්නේ "සීරෝ ජී" හෙවත් "0 පරම්පරාව " ලෙස. එදා සිට අද දක්වා සන්නිවේදන තාක්ෂණය අනුව පෙළපත් 5 ක් සුලබ භාවිතයට පැමිණ තිබෙන අතර, මේ වනවිට 6 වැනි පෙළපතක අනාගත භාවිතය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා.

ජංගම දුරකථන සන්නිවේදනයේ අද භාවිතා වෙන නවතම තාක්ෂණික මිනුම සහ ප්‍රමිතිය අයත් වන්නේ "පස් වෙනි පරපුරට ". එය ඉන්ග්‍රීසියෙන් “Fifth Generation Technology - 5G Technology” ලෙස හඳුන්වනු ලබනවා.

මේ වනවිට 1 G, 2 G වැනි තාක්ෂණ ජාලයන් භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත්ව ගොස් ඇති අතර, 3 G සහ 4 G තාක්ෂණය බොහෝවිට එකිනෙකෙහි තාක්ෂණික පදනම, සහ උපකරණ භාවිතා කරමින් සේවා සපයති. 2019 වසර වනවිට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා ලාභීන්ගෙන් 50% ක් පමණ 3 G සහ 4 G තාක්ෂණික පදනම් භාවිතයට ගත්හ.

මේ තාක්ෂණික දියුණුවේ මීළඟ විප්ලවීය පියවර 5G තාක්ෂණයයි.

මෙහි තාක්ෂණය

- ලෝ බෑන්ඩ් - Low Band

- මිඩ් බෑන්ඩ් - Mid Band

- හයි බෑන්ඩ් - High Band

ලෙස හඳුනාගන්නා සංඛ්‍යාත ශ්‍රේණි තුනක් ඔස්සේ මෙගහර්ට්ස් 600 ( 600MHz) ක පමණ සිට ගිගහර්ට්ස් 100 ( 100 GHz ) ක් පමණ දක්වා ඉතාම පුළුල් පරාසයක ක්‍රියාකාරී වේ. මේ තරම් පුළුල් සම්ප්‍රේෂණ පරාසයක් භාවිතය නිසා, මේ තාක්ෂණයේ ආවරණ කළාපය ඉතාම විශාල වේ.

වත්මනේදී පවතින 4G / 4G LTE ජාලයන්ගේ සන්නිවේදන යටිතල පහසුකම් මුලින් යොදාගෙන, ඒවාට නව්‍යකරණ කිහිපයක් සිදු කර පවත්වාගෙන යා හැකි 5G ජාලයන්ගේ ක්‍රියාකාරීත්වය, පසුව, ස්වාධීන යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කර එයට බාර දිය හැකි අතර, ඒ නිසා එම තාක්ෂණය, දැනටමත් මනා ආවරණයක් සහිත රටක ව්‍යාප්ත කිරීම පහසුය.

මෙම නව තාක්ෂණයේ දත්ත සම්ප්‍රේෂණ වේගය, ඉන් පෙර පැවති තාක්ෂණික පෙළපත් හා සසඳන කළ ඉතාම ඉහළය. ස්වාධීන යටිතල පහසුකම් සහිත ජාලයක දත්ත සම්ප්‍රේෂණයේ උපරිම වේගය ගිගබයිට් 20 ( 20 GB ) පමණ දක්වා වර්ධනය කළ හැක. ලෝකයේ දැනට ක්‍රියාත්මක 5ජී ජාලයන් ලබාගෙන තිබෙන උපරිම වේගයේ දළ අගය ගිගබයිට් 10 ( 10 GB ) පමණ වේ.

මෙය 4G LTE ජාලයක උපරිම වේගයේ දළ අගය ලෙස සළකන මෙගබයිට් 50 (50 Mbps) සහ ඉතාම ප්‍රශස්ථ තත්වයන් හිදී ලබාගන්නා මෙගබයිට් 300 (300 Mbps) වේගය සහ එහි ධාරිතාවයට වඩා දත්ත සම්ප්‍රේෂණය වෙනම තලයකට ගෙනයන වෙනසකි.

නමුත් මේ වනවිට 5G සේවාවන් ක්‍රියාත්මක රාජ්‍යයන් වල බොහෝ ප්‍රදේශ වලට එම සේවාව ලැබෙන්නේ එතෙක් පැවති ජාලකරණ යටිතල පහසුකම් වලටම සිදු කෙරුණු නවීකරණයන් ඔස්සේ හෙයින්, දත්ත බාගත කරන දළ වේගයේ උපරිමය ගිගබයිට් 1 (1 Gbps) ක් පමණ ආසන්නයෙහි පවතී.

 

4 G / LTE තාක්ෂණයේ පැමිණීමත් සමඟ විඩියෝ සම්ප්‍රේෂණය කරන තාක්ෂණික පදනම් වලද, විඩියෝ සජීවී සම්ප්‍රේෂණය සහ විඩියෝ දුරකථන ඇමතුම් ආදියේද විශාල වෙනසක් ඇති වූ අතර, එකී සේවාවන් 4G ජාලගත විය හැකි ස්මාට් ඩිවයිස් එකක් හිමි, එකී ජාලයක ආවරණ කළාපයේ සිටින ඕනෑම අයෙකුට ලබාගත හැකි තරමට සුලබවිය.

5G පැමිණීම නිසා

- රොබෝ තාක්ෂණය දියුණු කිරීම සහ රෝබෝ ක්‍රියාන්විත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අධිවේගී දත්ත සම්ප්‍රේෂණය, බිඳ වැටීම් වලින් තොරව, ඉහළ ගුණාත්මක බවකින් යුතුව පවත්වා ගත හැක

- සම්ප්‍රේෂණයේ පුළුල් සංඛ්‍යාත පරාසය හේතුවෙන් සෞඛ්‍ය අංශයේ සංකීර්ණ ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නා තාක්ෂණික උපාංග ජාලගතකරණය, මධ්‍යගත පාලක පද්ධතියක් සහ දත්ත ගබඩාවක් සමඟ සම්බන්ධ කිරීම ආදී කටයුතු බොහොමයකට අවශ්‍ය වේගය සහ විශ්වසනීයත්වය ලැබීම

- අතථ්‍ය අවකාශ (Virtual Reality) හෝ විශ්ලේෂිත අවකාශ (Augmented Reality) නිර්මාණය කිරීම සහ ඒවා අධ්‍යාපනික, විනෝදාස්වාද, ක්‍රීඩා ආදී බොහෝ ක්ෂේත්‍ර වල සුභ සිද්ධිය පිණිස පවත්වා ගැනීමත්, ඒවායේ ගුණාත්මක බව ඉහළ දැමීමත් වඩා පහසු වීම

- අන්තර්ජාලයට බොහෝ දෑ සම්බන්ධ කර තොරතුරු යාවත්කාළීන කරන "ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්" (Internet of things) ක්‍රමවේදය යථාර්තයක් කරගැනීමට වඩාත් පහසුවීම

- රියදුරන් රහිත වාහන ධාවනය, දුරස්ථපාලක ක්‍රමවේදයන්ගෙන් යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම වඩා විශ්වසනීය, වේගවත් එමෙන්ම පුළුල් ආවරණ කළාපයක් තුළ ක්‍රියාත්මක කිරීමේ හැකියාව (Automation and Remote Sensing)

මින් පෙර පැවති තාක්ෂණික පරම්පරාවන්ට වඩා මේ 5G  තාක්ෂණයේ ඇති සුවිශේෂී යටිතල පහසුකම් වෙනසක් වන්නේ, "එජ් ක්ලවුඩ් " ( Edge Cloud ) තාක්ෂණය ඔස්සේ දත්ත හුවමාරුවට පහසුකම් සැලසීමය. දත්ත මධ්‍යස්ථාන, දුරකථන කුළුණු සහ බේස් ස්ටේෂන් ආදියට කේන්ද්‍රගත වූ තොරතුරු හුවමාරුවකට වඩා, දත්ත මූලාශ්‍ර ආසන්නයටම ගෙන එන ක්ලවුඩ් පදනමේ පිහිටි ගබඩා සහ තොරතුරු හුවමාරු නිසා, වඩාත් වේගවත්ව සහ පුළුල්ව තොරතුරු සම්ප්‍රේෂණය කළ හැක. "ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්" යන සංකල්පය මෙමඟින් යථාර්තයක් බවට පත් කළ හැකිය.

මේ වනවිට 5G  තාක්ෂණය රටවල් 17 ක භාවිතයට ගැනෙන අතර, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, මහජන චීන සමූහාණ්ඩුව, ජර්මනිය ආදී රටවල් ඒ අතර ප්‍රමුඛයෝය.

2021 වසර වනවිට 5G සබැඳි බිලියන 0.34 ක් පමණ භාවිතයේ පවතින අතර, එය සමස්ථ ජංගම දුරකථන සබඳතා වලින් 5% ක් පමණ වේ. නමුත් වසර 2025 පමණ වනවිට මෙම සබැඳි ගණන බිලියන 2.5 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. එවිට එය සමස්ථ ජංගම සබඳතා වලින් 25% ත් ඉක්මවා යනු ඇතැයි අපේක්ෂිතය.

Post a Comment